Saturday, December 22, 2012

සෙනෙහසේ නවාතැන.....

එයාට කියන්න,
"ගීත ගයන්න පුලුවන් තවත් ලෝක තියනවා කියලා....."





                    මේ කතාව ඔබට කෙතරම් සංවේදී අත්දැකීමක් වනු ඇත්දැයි මම නොදනිමි.එහෙත්  මෙය ඔබටද වැදගත් වනු ඇතැයි සිතුනු නිසා මෙසේ පලකරමි.


                    ජීවිතයේ අප ඒ ඒ අවස්ථා වලදී ඇති කරගන්න බැඳීම් කොතරම් චමත්කාරජනකදැයි සිතෙන්නේ බොහෝ කල් ගතවූ පසුය.දිගත් පළලත් නොපෙනෙන ජීවිතය තුල ඇතිවන බැඳීම් කෙතරම් අපූරුද?

                    ඒ දුරකතනය අපේ රටට ආපු මුල් කාලයයි.ඇත්තටම එය අපූරු අත්දැකීමක්.පළමුවරට මම දුරකතනයක් දැක්කේ මගේ නෑදෑයකුගේ ගෙදරදීය.ඉන් මාස කීපයකට පසු අපේ නිවසටත් දුරකතනය පමිනියා.උඩුමහලට පිවිසෙන පියගැටපෙළ මුල බිත්තියේ මැද රතුපාටින් දිලිසෙන ඒ අපූරු උපකරණය දෙස මම බලාගෙන හිටියේ වශීවෙලා වගේ.එදා රාත්‍රියේ දුරකතනය ගැන මට දැනගන්න දේවල් ගොඩක් තිබුනා.මගේ අම්මා ඒ හැමදේම මට කියල දුන්නා.

                    "ඔයාට අවශ්ය ඕනම තොරතුරක් ලබා දෙන්න දුරකතනය බැඳී සිටිනවා.ඔයාට කරන්න තියෙන්නේ තරු ලකුන තියන බොත්තම තද කරන්න විතරයි.ඊට පස්සේ "තොරතුරු සේවය" කියලා අමතන්න විතරයි."ඇය ඒ ආකාරයට බොහෝ දේවල් දැනගන්න ආකාරය මම දැක්කා."තොරතුරු සේවය" අරුම පුදුමකැයි මට හිතුණා...

                    නිවසේ කිසිවකුත් නොසිටි එක් දිනයක මා සිටියේ නිවසේ පහළ මාලයේ.තාත්තාගේ ආයුධ පෙට්ටිය එදා මගේ සෙල්ලම් බඩු උණා.හදිසියේම අඬුවකට අහුවුන මගේ ඇඟිල්ල තුවාල වුණා.අනෙක් අතින් අඟිල්ල තද කරගෙන සිටි මගේ දෙනෙතින් ක්ඳුළු පිට පනින තරම් වේදනාවකින් මා වේදනා වින්දා.කියන්නට කිසිවෙකුත් නෑ.මා කල යුත්තේ කුමක්ද?මම වටපිට බැළුවා.දුරකතනය!ඔව්,තොරතුරු සේවය මට පිහිටට ඒවි.

                    වහා පුටුවක් සොයා ඒ මත නැඟී දුරකතනය වෙත ළඟා වූ මම තරු ලකුණ සහිත බොත්තම එබුවා."තොරතුරු සේවය" අනෙක් පසින් ඇසුනේ ආදරණීය කටහඬක්.

                    "මගේ ඇඟිල්ල තුවාල වුණා"කිසිවකුත් කතා කලේ නෑ.දරාගත නොහැකි  වේදනාවකින් මගේ සිත රිදුම් දුන්නා.කඳුළු කඩා වැටුණා."මගේ ඇඟිල්ල තුවාල වුණා" මම ආයෙමත් කිවුවා.දැඩි නිහඬතාවයකින් පසු ආයෙමත් මිහිරි කටහඬක් මට පිළිතුරු දුන්නා.

                    "පැටියෝ...ඔයාගෙ අම්මා ගෙදර නැද්ද?"
                    "කිසිකෙනෙක් නෑ" මගේ හඬ හැඬුම්බරයි.
                    "ඕ...හ්/... ඕ...කේ... පැටියෝ කලබල වෙන්න එපා.ඔයාගෙ අතින් ලේ එනවද?"
                    "ඔවු මට ගොඩක් රිදෙනවා"
                    "හරි...හරි... මට තේරෙනවා.හොඳයි...ඔයාගෙ ගෙදර ශීතකරණයක් තියෙනවාද?"
                    "ඔවු"
                    "හරි එහෙනම් අයිස් කැටයක් අරගෙන ඔයාගෙ තුවාලය උඩින් තියන්න.ලේ ගැලීම නතර වෙයි.අනික...කලබල වෙන්න එපා.ඔයාට පුලුවන් ඔය දේට මූණ දෙන්න.හරි" ඇය බොහෝ ඉවසිලිමත්ව,ආදරයෙන් මට පැහැදිලි කර දුන්නා...

                    ඉතින් ඊට පස්සේ හැමදේටම මම කතාකළේ මගේ "තොරතුරු සේවයට".ඒ සුමිහිරි හඬ මගේ හොඳම මිතුරිය වුණා.

                    "ෆිලඩෙල්ෆියාව තියෙන්නේ කොහේද?","ඇයි කුරුල්ලෝ පළතුරු විතරක් කන්නේ?","අපිට පියාඹන්න බැරි ඇයි?" මේ වගේ දහසක් දේවල් මම ඇගෙන් අහන්න ඇති.ඒ හැම අවස්ථාවකටම ඇය පිළිතුරු ඳුන්නේ පුදුමාකාර ඉවසීමකින් , ආදරයකින්.එක් දිනක් අපේ ගෙදර සුරතලයට ඇති කල "කැනරි" නම් කුරුල්ලා මියගියා.මම කතා කලේ "තොරතුරු සේවය"ට. ඇය බොහෝ සාවදානව අසාගෙන සිටියා.ඒ විතරක් නොවෙයි,ඔහු මියගොස් ඇති වග ඇය අපූරුවට පැහැදිලි කර දුන්නා.

                    "ඉතින් කොහොමද එයා ආයෙමයත් සින්දු කියන්නේ?මේ විදියට වැතිරිලා ඉන්නකොට එයාට ඉගිල්ලෙන්නත් බැහැනේ?" මගේ හදවතේ ඇති ගැඹුරු වේදනාව ඇයට වටහෙන්නට ඇති.

                    "පෝල්...හැමවෙලේම මතක තියගන්න,තවත් ලෝක ගොඩාක් තියනවා.ඒ කොයි ලෝකෙක හරි එයා සින්දු කියාවි."

                    ආයෙමත් දවසක මම "තොරතුරු සේවය" ඇමතුවා."කොහොමද "ෆික්ස්" කියන වචනය ස්පෙල් කරන්නේ?"

                    ටික දිනකින් මට වෙනත් පළාතකට යාමට සිදුවුණා.මගේ මිතුරිය අහිමි වුණා.අවුරුදු ගණනාවකට පසු මම නැවතත් ගෙදර පැමිණියා.එතකොට මම නව යොවුන් තරුණයෙක්. ඒත් ඇය කෙරෙහි මගේ මතකය අඩුවක් උනේ නෑ.ඇය තුල වූ ආදරය,ඉවසීම්,තේරුම් ගැනීම සහ කරුණාවන්ත බව ගැන මම අදත් පුදුමයට පත් වෙනවා.මගේ ගෙදරට අලුත් දුරකතනයක් පැමිණියා.හදිසියේ දිනක් මට ඇය මතක්වුණා.අපේ අලුත් දුරකතනයේ තරු ලකුණ ඔබා රිසීවරය කන තබාගෙන සිටි මට ඇසුනේ කුමක්ද?

                    "තොරතුරු සේවය" මඳක් වියපත් වූ ඇගේ කරුණාවන්ත කටහඬ,මම පුදුමයෙන් පුදුමයට පත්වුණා.
                    "මගේ ඇඟිල්ල තුවාල වෙලා..."මගේ ගොරෝසු පිරිමි කටහඬ අවදි වුණා.ඇය විණාඩියක් දෙකක්... නිහඬවම හිටියා.මම දන්නවා ඇය දුරකතනයේ රැඳී ඉන්න වග.
                    "මං හිතන්නේ...තුවාලෙට අයිස් කැට තියාගන්න ඔයාට පුළුවන් පෝල්..." මම මහ හඬින් සිනාසුනා.
                    "ඕහ්...දෙවියනේ...ඔබ තවමත් ඔතන ඉන්නවා..." මට කියවුණා.
                    "මට හරි පුදුමයි" ඇය සෙමින් මිමිණුවා.
                    "ඒ වගේම පෝල්.ඔයා දන්නවානම් ඔයාගේ ඇමතුමකින් මම කොයිතරම් සතුටට පත්වුණද කියලා,දරුවො නැති මට ඒක මහා සතුටක් ගෙනාවා පෝල්."

                    ඉතින්...මම ඇයට දන්වා සිටියා ටික දිනකට මම මගේ සොහොයුරිය බැලීමට යන බවත්,ඒ ආ විගසම ඇය අමතන බවත්.

                    "කරුණාකරලා මට කතා කරන්න පෝල්.සැලී කියලා කතා කරන්න."

                    මාස තුනකට පසු මම නැවත පැමිණියා.ඒ ආ විගස මම "තොරතුරු සේවය" ඇමතුවා.වෙනස් කටහඬක්! "සැලී" මම විමසුවා.

                    "ඔබ යහලුවෙක්ද?" ඒ කටහඬ පිළිතුරු දුන්නා.
                    "ඔවු,ගොඩක් පරණ යලුවෙක්."
                    "මට කණගාටුයි මේ ගැන ඔබට කියන්න සිදුවීම ගැන. ඇය අපේ ආයතනයේ සේවය කලේ පාට් ටයිම් සේවිකාවක් ලෙස. ඇත්තටම ඇය මීට සති දෙකකට කලින් මියගියා."

                   මගේ සිත දුකින් පිරී ගියා.රිසීවරය තබන්නට පෙර වෙනස් කටහඬ ආයෙමත් කතා කලා.

                    "පොඩ්ඩක් ඉන්න,ඔබේ නම පෝල්ද?"
                    "ඔව්"
                    "ඔබ කතා කලොත් කියන්න යැයි සැලී පණිවිඩයක් තබා ගියා.මම ඒක කියවන්නද?"
                    "හා"
                    "ඔහුට කියන්න ගීත ගායනා කළ හැකි තවත් ලෝක තිබෙන බව.මම කියන්නේ කුමක්දැයි ඔහු වටහා ගනීවි." ඇත්තටම ඇය කීවේ කුමක්දැයි මට තේරුණා.....

No comments:

Post a Comment